සුනකයන් අඩපන කරන ඩිස්ටෙම්පර් - CanineDistemper

ඩිස්ටෙම්පර් යනු ලොව පුරා සුනඛයන් අතර බහුල ලෙස පැතිර යන මාරාන්තික වෛරස් රෝගයකි. ඉතා සීඝ්‍ර ලෙස පැතිරී යන මෙම රෝගය සමහර කාල වලදී වසන්ගත තත්වයක් බවට පත්වේ. පිටුපස පණ නැති වීමේ රෝගය ලෙස බොහෝ දෙනා හදුන්වන මෙම රෝගය සුනඛයන්ට පමනක් නොව ඇතැම් වන ජීවීන්ටත් වැලදේ.
මෙම රෝගයට හේතුවන රෝග කාරකය වන්නේ Canine Distemper Virus නම් වයිරසයයි. වාතය ඔස්සේ ප්‍රචලිත වන මේ වෛරසය රෝගී සතුන්ගේ, කෙල, සොටු, කබ ආදී ශ්‍රාවයන් මගින් නිකුත් කරයි. වෛරසයට බාහිර පරිසරයේ වැඩිකලක් පැවතිය නොහැකි උවත්, රෝගය වැලදුනු සතෙකු සුව වී සති කිහිපයක් යන තුරුම පරිසරයට නිකුත් කරනු ලබයි. 
ඩිස්ටෙම්පර් වැලදීමට වැඩි ප්‍රවනතාවක් ඇත්තේ  මාස 4ට අඩු පැටවුන්ට සහ එන්නත් නොකල වැඩිහිටි සතුන් අතරයි. 
මෙම රෝග කාරක වෛරසය ශරීරයේ පද්ධති බොහෝමයකට බලපෑම් එල්ල කරන අතර සුලු මට්ටමේ සිට මාරාන්තික තත්වය දක්වා ලක්ෂණ පෙන්නුම් කල හැක.


රෝග ලක්ෂණ
  • උණ (බොහෝ විට මෙම තත්ව එතරම් කැපී පෙනෙන්නේ නැති බැවින් නොපෙනී යා හැක)
  • ආහාර අරුචිය
  • කබ සහ සොටු දියර ගැලීම
  • ක්‍රියාකාරිත්වය අඩු වීම
  • කැස්ස
  • වමනය හා බඩ එලිය
  • හුස්ම ගැනීමේ අපහසුව
  • නාසය කෙලවර හා පාද කොට්ට ඝනකම් වීම.
  • ස්නායු සම්බන්ධ ලක්ෂණ
ස්නායු සම්බන්ද ලක්ෂණ මතුවන්නේ බොහෝවිට කල් ගත වී වන අතර සමහර සතුන්ට මතු නොවීමටද ඉඩ ඇත
  • පේශීන් වල ගැස්සම්
  • දුර්වලත්වය
  • අංශ භාගය
  • ඇවිදීමේ අපහසුව 
ස්නායු පද්ධතියට සම්බන්ධ රෝග ලක්ෂණ වේ. 

ප්‍රතිකාර
මෙම රෝගය සදහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත. බොහෝ විට ප්‍රතිකාර සිදු කරනු ලබන්නේ රෝග ලක්ෂණ පදනම් කරගෙන, එම ලක්ෂණ අඩු කර ගැනීම සදහා සහ විජලනය වීම වලක්වා ගැනීම සදහා වේ. ප්‍රතිකාර කලද බොහෝ විට ස්නායු පද්ධතිය සම්බන්ධ ලක්ෂණ  ක්‍රමයෙන් නරක අතට හැරීමේ ප්‍රවනතාව ඉතා වැඩි අතරම මාරාන්තික බවද අඩුවීමක් බලාපොරොත්තු විය නොහැක .

වලක්වා ගැනීම
රෝගය වලක්වා ගැනීමට ඇති එකම ක්‍රමය වන්නේ එන්නත් කර ගැනීමයි. පැටවුන්ට සති6-8 දක්වා වයසේදී පලමු එන්නත ලබා දිය යුතු අතර ඉන්පසු  මාසයක පමන පරතරයකින් දෙවන එන්නත ලබා දීම සිදු කරයි. ඉන්පසු වාර්ෂික එන්නත ලබාදීමෙන් රෝගය වැලදීමේන් වලක්වා ගත හැක. 

Comments

Popular Posts